2022 ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති මෙම බලපෑම, රුසියා-යුක්රේන යුද්ධය සමයේ ඇති වූ බලශක්ති අර්බුදයට සමාන වෙමින් පවතින බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය පිළිබඳව මීට පෙර අනතුරු ඇඟවූ කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි මහතා සඳහන් කළේ, කලාපීය ගැටුම් හේතුවෙන් බලශක්ති අපනයනය දීර්ඝ කාලයකට අත්හිටුවීමට සිදුවුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි. එවැනි තත්ත්වයක් ලෝක ආර්ථිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතු විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ලෝකයේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සහ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් සියයට 17ක් සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙන් වන අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මේ වන විට ටැංකි නෞකා 300ක් පමණ එම ප්‍රදේශයේ අතරමං වී තිබේ. මෙම සැපයුම් ජාලය අඩාල වීම නිසා ඉදිරියේදී ලොව පුරා ඉන්ධන සහ බලශක්ති මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.














