මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පසුගිය ඉරිදා අමෙරිකානු ඩොලර් 118 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගිය බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල, මේ වන විට ඩොලර් 88.97 දක්වා සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ. ලෝක බලවතුන් මැදිහත් වී බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීමට ගත් පියවර මෙලෙස මිල පාලනය වීමට ප්‍රධාන හේතුව වී ඇත.
පසුගිය ඉරිදා (මාර්තු 08) දින මැදපෙරදිග යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118ක් ලෙස උපරිම අගයක් වාර්තා කළේය. පෙරේදා (මාර්තු 09) දිනයේදී G7 රටවල මුදල් අමාත්‍යවරුන් සිය උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට සූදානම් බව නිවේදනය කිරීමත් සමඟ මිල ඩොලර් 90.52 දක්වා පහත වැටුණු අතර, අද (මාර්තු 11) වන විට එය ඩොලර් 88.97 දක්වා තවදුරටත් අඩු වී තිබේ. කෙසේ වෙතත්, යුද ගැටුම් ආරම්භ වීමට පෙර පැවති සාමාන්‍ය අගය වූ ඩොලර් 70 සීමාවට වඩා වත්මන් මිල තවමත් ඉහළ මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලෝක වෙළඳපොළේ මෙම මිල පහත වැටීමත් සමඟ, පසුගිය දින කිහිපය තුළ ඉහළ ගිය දේශීය ඉන්ධන මිල ගණන් ඉදිරි සංශෝධනයකදී නැවත පහත හෙළීමට රජයට හැකි වනු ඇති බවට ක්ෂේත්‍රයේ විද්වතුන් මත පළ කරති.















