ඇමරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය සහ ගුවන් කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ප්‍රධාන ගමනාන්ත කිහිපයක් සඳහා වන සිය ගුවන් ගමන් ජූනි මාසය දක්වා අත්හිටුවීමට බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව අම්මාන්, බහරේන්, ඩුබායි සහ ටෙල් අවිව් වෙත පැවැත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් මැයි 31 වනදා දක්වා තාවකාලිකව අවලංගු කර ඇති අතර, දෝහා (Doha) සඳහා වන ගුවන් ගමන් අප්‍රේල් 30 වනදා දක්වා අත්හිටුවා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
සිය පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සහ පවතින අවිනිශ්චිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව බ්‍රිටිෂ් එයාර්වේස් ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර, අවලංගු කරන ලද ගුවන් ගමන් සඳහා වෙන් කිරීම් සිදු කළ මගීන්ට වෙනත් ගුවන් සේවයක් තෝරා ගැනීමට, ගමන් දිනය වෙනස් කර ගැනීමට හෝ සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. කෙසේ වෙතත්, සවුදි අරාබියේ රියාද් සහ ජෙඩා නුවර සඳහා වන ගුවන් ගමන් දැනට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ. මැදපෙරදිග අර්බුදය තීව්‍ර වෙමින් පවතින පසුබිමක, ඉරානය විසින් කලාපයේ පිහිටි ඇමරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ ගල්ෆ් කලාපීය ඉලක්ක වෙත යළි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීම මෙම තීරණයට සෘජුවම බලපා තිබේ.














