හපුතලේ, දඹේතැන්න පාරේ පිහිටි තොටලාගල සංචාරක බංගලාවේ නවාතැන්ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව හපුතලේ පොලීසිය වාර්තා කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවූ ජෙනී රෝස් එයිලිගන් (Jenny Rose Ayligan) නමැති කාන්තාවකි.
ඇය පසුගිය පෙබරවාරි 23 වන දින අදාළ සංචාරක බංගලාවට පැමිණ නවාතැන් ගෙන තිබේ. පසුගිය 25 වනදා රාත්‍රී 10.00 ට පමණ තමන්ට පපුවේ වේදනාවක් පවතින බව ඇය දැනුම් දී ඇති අතර, ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයව හපුතලේ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් රෝහල්ගත කිරීමෙන් පසුව ඇය මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මරණයට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත.














