ලොව සුප්‍රකට BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හත්දෙනාම වසර හතරකට පසු එක්ව ඉදිරිපත් කළ පළමු සජීවී ප්‍රසංගය පසුගිය සෙනසුරාදා දකුණු කොරියාවේ ක්වැංහ්වාමුන් (Gwanghwamun) චතුරශ්‍රයේදී අතිසාර්ථකව පැවැත්වුණි. අද (2026 මාර්තු 25) පෙරවරුවේ නෙට්ෆ්ලික්ස් ආයතනය නිකුත් කළ වාර්තාවලට අනුව ලොව පුරා රටවල් 190ක මිලියන 18.4ක ප්‍රේක්ෂක පිරිසක් මෙම ප්‍රසංගය සජීවීව නරඹා තිබේ.
අනිවාර්ය යුද සේවය නිම කිරීමෙන් පසු ‘Jin, Suga, J-Hope, RM, Jimin, V සහ Jung Kook’ යන සාමාජිකයින් හත්දෙනාම වේදිකාවක ප්‍රසංගයක් පැවැත්වූයේ 2022 ඔක්තෝබර් මාසයෙන් පසුවය. මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් සජීවීව එක්ව සිටි අතර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 7,000ක් පමණ යොදවා තිබුණි. BTS කණ්ඩායමේ මෙම නැවත පැමිණීමත් සමඟ ඔවුන්ගේ නවතම ඇල්බමය වන ‘Arirang’ නිකුත් කිරීම සහ රටවල් 82ක ලෝක සංචාරයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ BTS කණ්ඩායමේ මෙම නැවත එක්වීම හරහා ඔවුන්ගේ මව් සමාගම වන ‘Hybe’ වෙත ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික ආදායමක් හිමිවනු ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රසංගයෙන් පසු සඳුදා දිනයේදී Hybe සමාගමේ කොටස් මිල 15.5%කින් පහත වැටී ඇති බව ද වාර්තා වේ. මෙම ප්‍රසංගය නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ සජීවීව වැඩිම පිරිසක් නැරඹූ ප්‍රසංග අතර ඉදිරියෙන්ම පසුවේ.
















