පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා පැවති අවස්ථාවේදීය.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුයේ, ” පිබිදෙමු පොලොන්නරුව කියලා සංවර්ධන වැඩ කරන්න පටන් ගත්තා. ඒවායේ වැඩ බාගෙට එලොවටත් නෑ. මෙලොවටත් නෑ අපිට ඒවා කැලෑ වදින්න වල්බිහි වෙන්න දෙන්න බෑ. ඒවා ජාතික ධනය. මේ විදිහට මහජන මුදල් නාස්ති වෙන්න දෙන්න බැහැ. පොලොන්නරුව නවනගරයේ වැඩ අවසන් නොකල පරිපාලන ගොඩනැගිල්ල අවුරුදු පහක් තිස්සේ අකර්මණ්‍ය වෙලා තිබෙනවා. පොලොන්නරුව තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමට එම ගොඩනැගිල්ල ලබා ගැනීමට අවශ්‍යයි. පුරවර විශ්වවිද්‍යාලය එහි පිහිටුවා පොලොන්නරුවේ ඉහළ අධ්‍යාපනයක් සහිත දරු පරපුරක් බිහි කළ යුතුයි. ඒ සඳහා මෙය හොඳ පියවරක් යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි සිරිපුර නගරය ග්‍රාමීය රෝහලක් ඉදිකිරීම, මනම්පිටිය නගරය මූලික කරගෙන වසංගත රෝග නිවාරණය සඳහා රෝහලක් ඉදිකිරීම , අඩු ආදායම් පවුල් සඳහා නොමිලේ විදුලිය ලබා දීම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැනි සියලු යෝජනාවන් සංවර්ධන කමිටුව විසින් අනුමත කරන ලදී .
උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.