රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල, මල්වත්ත ප්‍රදේශයේදී අද (15) අලුයම සිදු වූ බරපතල රිය අනතුරකින් දස හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ගොඩකවෙල පොලිසිය වාර්තා කරයි. අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 6.00 ට පමණ ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි බැතිමතුන් රැගත් පෞද්ගලික බස් රථයක් සහ කතරගම දේවාලය වැඳපුදා ගැනීමට යමින් සිටි ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනි. අනතුරින් තුවාල ලැබූවන් වහාම ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
අනතුරට පත් පෞද්ගලික බස් රථය හුංගම ප්‍රදේශයේ සිට බැතිමතුන් පිරිසක් රැගෙන නල්ලතන්නිය බලා ගමන් කරමින් තිබූ එකක් වන අතර වාද්දුව ප්‍රදේශයේ සිට කතරගම බලා ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය මෙලෙස අනතුරට මුහුණ දී තිබේ. ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන් කළ දස හැවිරිදි දරුවා සහ තවත් අයෙකුගේ හිසට සහ පාදවලට බරපතල තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගොඩකවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.














