මගී ප්‍රවාහන බලපත්‍ර යනු පොදු ජනතාවට අයත් සම්පතක් බැවින්, එම බලපත්‍ර සඳහා නිශ්චිත කාල සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
මීට අමතරව, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් වූ නව නියෝග කිහිපයකට ද මෙහිදී අනුමැතිය හිමි විය. 1991 අංක 37 දරන මුල් පනතට අනුව මගී සේවා අවසර පත්‍රයක් වෙනත් අයෙකුට පැවරීමට නොහැකි වීම නිසා බස්රථ හිමියන් සහ බලධාරීන් මුහුණ දුන් කළමනාකරණ ගැටලු සැලකිල්ලට ගෙන, 2025 අංක 8 දරන සංශෝධන පනත මගින් එම අවසර පත්‍ර වෙනත් පාර්ශ්ව වෙත පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ද දැන් සකස් කර තිබේ.














