බුත්තල, මොණරාගල මාර්ගයේ නාමණ්ඩිය නව ගම්මානයේ (මහගොඩයාය) නිවසක ඇති වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තුන් හැවිරිදි දැරිය ද අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජේ.එම්. ඔනෙල්‍යා නැමති දැරියකි.
පසුගිය 16 වැනිදා නිවසේ කාමරයක ඇති වූ මෙම ගින්නෙන් නිවසේ සිටි මව, පියා සහ දියණිය තිදෙනාම බරපතළ තුවාල ලැබූහ. ප්‍රථමයෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ඔවුන් අතරින් 26 හැවිරිදි මව වූ කේ.ඩී. සුරාජි සකුන්තලා මහත්මිය එහිදී මියගොස් තිබුණි. දැරිය සහ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා සිටි අතර, දැරිය පසුගිය 21 වැනිදා සවස මෙලෙස මියගොස් ඇත.
දැරියගේ පියා වන 29 හැවිරිදි ජේ.එම්. දිලුක්ෂ මධුසංඛ යන අය තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙම ගින්න ඇති වීමට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර බුත්තල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














