රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (29) පෙරවරුවේ එක් වෙමිනි. 2020-2021 වර්ෂවල දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර විද්‍යාලයීය පෝතක බාලදක්ෂ ආචාර හා බාලදක්ෂයන්ගේ සම්මාන මුරයකින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
ජාතික, ආගමික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සියලු අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත්, ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ සුපසන් ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන “ආනන්දාභිමානී” සම්මානය හිටපු කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමීම සහ පාසල් දිවිය තුළ සෑම අංශයකින්ම ඉහළම කුසලතා පළ කළ අතිවිශිෂ්ට ආනන්දියාට පිදෙන “ප්‍රිට්ස්කූන්ස්” සම්මානය හිමි කරගත් ඩබ්ලිව්. එස්. නිම්සිත් සිසුවාට එය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කලේය “මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මට මෙහිදී සිහිපත් කළා පසුගිය වතාවේ මෙම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වූ අවස්ථාව. එවිට විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ කුඩලිගම මහතා. එදාට වඩා අද මෙම විද්‍යාලය විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒ සඳහා දායක වු සියලුදෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා. “ළගම පාසල – හොඳම පාසල” වැඩසටහන යටතේ අපි එදා මේ විද්‍යාලයට සත්මහල් ප්‍රසාදයක් ලබා දුන්නා. එවැනි ගොඩනැඟිල්ලක් තිබෙන ලංකාවේ එකම පාසල ආනන්ද විද්‍යාලයයි. ඒ වගේම පිහිණුම් තටාකයක් සහ ක්‍රිඩාංගණයක් මෙම පාසලට ලැබී තිබෙනවා. මම අද කතාව ආරම්භ කිරීමට සිතුවේ ආනන්ද විද්‍යාලය ආරම්භ කළේ ඇයි කියන කාරණය සමඟයි. බ්‍රිතාන්‍යයන් පැමිණෙන විට අපේ රටේ පාසල් තිබුණේ නැහැ. පල්ලියේ පාසල් පවත්වාගෙන ගිය අතර ඉංග්‍රිසියෙන් නැත්නම් ඕලන්ද භාෂාවෙන් එහි අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඒ වගේම පන්සලේ පවත්වාගෙන ගිය පාසල්වල සිංහලෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඒ වගේ යාපනයේ එක් එක් ස්ථානවල දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන්නා. 1835 කෝල්බෘක් – කැමරන් කොමිසන් වාර්තාවෙන් ලංකාවේ ආර්ථිකය කණපිට පෙරළුවා. කුරුඳු වගා කරන වැඩවසම් ආර්ථිකය වෙනුවට වාණිජ ආර්ථිකයක් ඇති කළා. පළමුව තේ, ඉන් අනතුරුව කෝපි, රබර්, පොල් වගා කිරීම ආරම්භ කළා. ඒ වගේම කොළඹ වරායත් විශාල වරායක් බවට පත් කළා. ඒ අනුව එසේ නම් 19 වන 20 වන ශතවර්ෂයට අදාළ අලුත් වාණිජ ආර්ථිකයක් ඇති කළා. ඒ වාණිජ ආර්ථිකය ප්‍රථමයෙන් පටන් ගත්තේ ලංකාවේ. අනතුරුව එය ජපානයේ ඇති කළා. මේ වැඩකටයුතු සඳහා ලාංකිකයින් අවශ්‍යයි, ඒ සඳහා පාසලක් ආරම්භ කළ යුතුයි කියා එදා යෝජනා කළා. එම විද්‍යාලය ආරම්භ කළේ කොළඹ ඇකඩමිය ලෙසයි. ඒ තමයි මගේ ආදි පාසල කොළඹ, රාජකීය විද්‍යාලය. එය එදා ආරම්භ කළේ කොටුව අලුත්කඩේ අසල. ඒ සමගම මිෂනාරි සංගම් පැමිණ ඔවුන් ද පාසල් ආරම්භ කළා. ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර, තවත් එවැනි පාසල් කිහිපයක් ඇති කළා. එම අවස්ථාවේ දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ දුටුවා නවීන පාසලක් බෞද්ධයන්ට ද අවශ්‍යයි කියා. එදා බෞද්ධයන්ට තිබුණේ පිරිවෙන් අධ්‍යාපනයයි, පන්සලයි විතරයි. ඒ වෙනුවට උන්වහන්සේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සමඟ එක්ව බෞද්ධ පරිසරය තුළ ඒ නවීන ක්‍රමයේ පාසලක් ආරම්භ කළා. මොකද මිෂනාරි ක්‍රමය තුළ තිබුණේ ක්‍රිස්තියානි පරිසරයයි. කොළඹ රාජකීය විද්‍යාලයේ තිබුණේ සාමාන්‍ය පරිසරයක්. එහෙනම් බෞද්ධ පරිසරය සමඟ ආනන්ද විද්‍යාලය ආරම්භ කළා. එහි පළමු විදුහල්පතිවරු දෙදෙනාම ක්‍රිස්තියානි අය. පසුව ඔවුන් බුද්ධාගම වැළඳ ගත්තා. මෙතැන් සිට තමයි කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ආදි ශිෂ්‍යයන් ගණනාවක් බිහි වුණේ. ඔවුන් එදා නිදහස් ලංකාව ගොඩනැඟීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ අය අතරින් අද අපි කරු ජයසූරිය මැතිතුමාට “ආනන්දාභිමානී” කියන උපහාරය පුද කළා. නගරාධිපති ලෙස, අමාත්‍යවරයෙකු ලෙස සහ කථානායක ලෙස කරු ජයසුරිය මහතා මෙම පාසලට විශාල සේවයක් ඉටු කර තිබෙනවා. ඒ පිළිබඳ ආනන්ද විද්‍යාලයට ආඩම්බර විය හැකියි. අපි සමාජය වෙනුවෙන් කළ යුත්තේ මොකක්ද කියන කාරණයේදී මෙය වත්මන් ශිෂ්‍යයන්ටත් හොඳ ආදර්ශයක් වෙනවා. අද මේ පාසලේ අධ්‍යාපනය ලබන ඔබ සියලු දෙනා වාසනාවන්තයි. මම දන්න විදියට බෞද්ධ පරිසරයක් සමඟ ලෝකයේ තිබෙන පළමු නවීන පාසල මේ ආනන්ද විද්‍යාලයයි. අපි පළමුව හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේට ආනන්ද විද්‍යාලයත්, විද්‍යෝදය පිරිවෙනත් ආරම්භ කිරීම පිළිබඳ කෘතවේදි විය යුතුයි. දැන් ඔබ අධ්‍යාපනය ලබා සමාජයට ඇතුළු වීමට සුදානම් වී සිටිනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය පුහුණුව ලබාදීමට විදුහල්පතිතුමත්, ආචාර්ය මණ්ඩලයත් කටයුතු කරනවා. ඒ ලබාදෙන දැනුමෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්න. ආචාර්ය මණ්ඩලයට අවශ්‍ය එම සහාය ලබාදීමට ශිෂ්‍ය නායකයන් සිටිනවා. ඊට අමතරව ක්‍රීඩා නායකයන් සිටිනවා. ඒ වගේම ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන් සිටිනවා. ඒ වගේම මේ විද්‍යාලයට විශාල වශයෙන් උදව් උපකාර කරන ආදි ශිෂ්‍යයන් ඉන්නවා. විශේෂයෙන් වරප්‍රසාද ලත් පිරිසක් ලෙස ඔබ මේ අධ්‍යාපනයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගෙන පසුව සමාජයට පිවිස, ඊට හොඳ නායකත්වයක් ලබා දෙන්න. ඔබට සමාජයට ඇතුළු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීම ආචාර්ය මණ්ඩලයේ වැඩ කටයුත්තක්. ඉන් පසු ඔබ යන සමාජය අලුත් සමාජයක් ලෙස ගොඩනැඟිම ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් යුතුකමක්. මොකද අද අපි දකින්නේ ඉතා අර්බුදකාරී සමාජයක්. දේශපාලනය වගේම ආර්ථිකයත් කඩාවැටිලා. එම ආර්ථික කඩාවැටීම මීට පෙර ඉතිහාසයේ කිසිදා නොදැකපු අන්දමේ එකක්. සෑම අංශයක්ම කඩාවැටීමත් සමඟ අපේ ක්‍රමවේදය ක්‍රියා විරහිත වුණා.
දැන් IMF ආධාර සමඟ අපි ඉදිරියට යනවා. අපි රට දියුණු කිරීමට නම් ආධාර ලබාගෙන තමයි ඉදිරියට යා යුත්තේ. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වසර 4න් පසු අපි ඇතිකරන්නේ මොනවගේ සමාජයක්ද.අපි පරණ ක්‍රමයට යනවද, අලුතින් සිතනවද, ඒ පිළිබඳ අපි සියලු දෙනා සිතා බැලිය යුතුයි. නිදහසින් පසු අපි නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යය ඇති කළා. මහවැලිය ඇති කළා. ඒ වගේම වෙළෙඳ කාලප ඇති කළා. මේ සමඟ අපි ආර්ථික දියුණුවත් ඇති කරගත්තා. යුද්ධයට පෙරත්, යුද්ධයෙන් පසුවත් අපි එකතැනක සිටියා. අනිත් රටවල් අප පසුකර ඉදිරියට ගියා. බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනිසියාව මේ සියලු රටවල් අපට වඩා ඉදිරියට ගියා. ඒ නිසා තමයි අද අපි තවමත් මේ තත්ත්වයේ පසුවන්නේ. අපේ අනාගතය තිබෙන්නේ එකතැන සිටීමෙන් ද, නැත්නම් අපිත් ලෝකය සමඟ ඉදිරියට යනවාද, අපි ඒ තීරණය ගත යුතුයි. අද අපි අලුතින් සිතා අලුත් පිම්මක් පනින්න අවශ්‍යයි. ඒ පිම්ම පැනීමේ නායකත්වය ගත යුත්තේ තරුණ ප්‍රජාවයි. තොරතුරු තාක්ෂණය අපේ කාලයේ තිබුණේ නැහැ. අඩුම තරමින් පරිගණකයක්වත් තිබුණෙ නැහැ. අද තරුණ ප්‍රජාව නවීන තාක්ෂණය භාවිත කරනවා. අපි අලුත් තාක්ෂණයට යන්න අවශ්‍යයි. දැන් හැමෝම ළඟ උසස් තත්ත්වයේ ජංගම දුරකථන තිබෙනවා. මේ වන විට තරුණ ප්‍රජාවට දැනුමක් තිබෙනවා. අපේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ හරිත බලශක්තියයි. හරිත බලශක්තිය හැම අංශයකින්ම අවශ්‍යයි. සූර්ය බලශක්තිය, සුළං බලය, මුහුදු සුළං බලශක්තිය මේ හැම දෙයක්ම අපට තිබෙනවා. අපි මේවායින් ප්‍රයෝජනය ගත යුතුයි. එදා තේ, කෝපි, රබර් වගා කළා වගේ මේ දෙයිනුත් සම්පූර්ණයෙන්ම කෙටි කාලයකින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍යයි. අනික් රටවල් මේ තැනට යන්න කලින් අප එම කටයුත්ත ආරම්භ කළ යුතුයි. අපට තිබෙන හරිත බලය නිසා හරිත කාබන්, හරිත හයිඩ්‍රජන් ඇති කරන්න පුළුවන්. රටවල් ගණනාවක්ම ස්වයංපෝෂිත වෙලා නැහැ. අපට තිබෙන සම්පත් නිසා අඩුම තරමින් ගිගාවොට් විස්සකවත් හරිත බලයේ අතිරික්තයක් තිබෙනවා. ගිගාවොට් 50 ක් තිබෙනවා කියලා සමහරු කියනවා. අනාගතයේ ප්‍රධාන බලශක්තියක් තමයි හරිත හයිඩ්‍රජන්. අපට ග්‍රීන් ඇමෝනියා තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන වරාය බවට ත්‍රිකුණාමලය පත් කර ගත යුතුව තිබෙනවා. මේ සියල්ලම ගතහොත් බලශක්ති අතිරික්තයක් තිබෙන රටක් බවට පත් වෙනවා. අපට එමගින් කාබන් ක්‍රෙඩිට් ලබා ගන්න පුළුවන්. කාබන් ක්‍රෙඩිට් අනික් රටවල් අපෙන් මිලදී ගනියි. ස්වභාවිකවත් දියුණු කරන විට ඒ සඳහා අපට මුදල් ලැබෙනවා. ඒ මුදල්වලින් අපේ ණයත් අඩු කර ගන්න පුළුවන්. අපේ අතේ විශාල බලයක් තිබෙනවා. ඒවා අපි ක්‍රියාත්මක කළ යුතුයි. දෙවනුව සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අද මාලදිවයින සංචාරක කේෂ්ත්‍රයේ ඉහළින් ඉන්නවා. අපේ රට වටේ මුහුදු වෙරළ තිබෙනවා. කඳුකරය, අපට අනන්‍ය සංස්කෘතියක් තිබෙනවා. බෞද්ධ, හින්දු ඇතුළු ආගමික ස්ථාන තිබෙනවා. අපි ඒවායින් ප්‍රයෝජනයක් ගෙන නැහැ. අසල්වැසි ඉන්දියාවේ ජනතාව බිලියනයකට අධිකයි. අඩුම තරමින් එයින් මිලියනයක්වත් ගෙන්න ගත්තොත් අපට ප්‍රමාණවත්. වෙන මුකුත් අවශ්‍ය නැහැ. ඉන්දියාව අද සීග්‍රයෙන් දියුණු වෙලා. ඉන්දියාවට දියුණු වෙන්න ඇතැම් අමුද්‍රව්‍ය නැහැ. නිෂ්පාදනය කරන භාණ්ඩ රට යවන්න අවශ්‍යයි. ඒ අයට වරායේ ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි කොළඹ වරාය විශාල වරායක් බවට පත් කළ යුතුයි. අලුතින් දකුණු වරාය වගේම උතුරු වරායත් ඇති කළා. අක්වෙරළ ආර්ථිකය ඇති කරන්න අපට පුළුවන්. තාම එක රටක්වත් එය සිදු කරලා නැහැ. අපට තිබෙනවා නව තාක්ෂණය ලබා ගන්න. තොරතුරු තාක්ෂණය පමණක් නෙවෙයි අපට තිබෙන්නේ. එහි ප්‍රධානතම අංශය තමයි කෘත්‍රීම බුද්ධිය ලබා ගැනීම. ඉදිරියේදී කෘත්‍රීම බුද්ධිය ලබා ගැනීම විශේෂයෙන්ම අපට තිබෙන අභියෝගයක්.
ඉදිරියේදී ස්වයංක්‍රීය තාක්ෂණයටත් යන්න තිබෙනවා. අප අනික් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින රටක් බවට පරිවර්තනය විය යුතුයි. එවැනි රටක් හදන්න නම් අලුත් නායකයන් අවශ්‍යයි. අපට තිබෙන්නේ මඟපෙන්වීම කරන්න විතරයි. එහි පෙරමුණ ගත යුත්තේ කවුද? තරුණ ඔබ තමයි නායකත්වය ගත යුත්තේ. එදා 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා කිව්වෙත් ඔබ රටේ අනාගතය කියලයි. දැන් මට කියන්න තියෙන්නෙත් ඔබත් රටේ අනාගතය කියලයි. ඒ අභියෝගය භාර ගන්න පුළුවන්ද? අපේ අදහස් අනුව සමාජය හදලා වැඩක් නැහැ. අලුත් තාක්ෂණය සමඟ ඉන්නෙ තරුණ ඔබ. ඒ සමාජයට යන්න. සෑම දෙයක් ගැනම වගකීම ගන්න. මේ පාසලේ දක්ෂ අය ඉදිරියට යයි. අභියෝග තිබුණොත් බිය නොවී භාර ගන්න. අභියෝග භාර ගත්තොත් පරාජය වෙනවද කියලා හිතන්න ගත්තොත් කිසිවක් කරන්න බැහැ. ආනන්දය 19 වන ශතවර්ෂයේ නවීන ලංකාවක් ඇති කරන්න පුරෝගාමීව ක්‍රියා කළා. එහෙනම් 20 වන ශතවර්ෂයේදීත් පුරෝගාමීව කටයුතු කරන්න. මේ වෙනස්කම් කරන්න අවුරුද්දකින් බැහැ. අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් යන්න පුළුවන්. ඔබලාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තව අවුරුදු 25කින් වයස කියද? මෙතැන ඉන්න කිසි කෙනෙක් අවුරුදු 50ට වැඩි නැහැ. ඕන නම් 45 ක් 55 ක් වෙන අය සිටින්න පුළුවන්. ඒ නිසා තමන්ගේ අනාගතය සකසා ගන්න. චීනය ජනරජය ඇති කරලා වසර සියයක් ගත වෙන්න කලින් දියුණු රටක් බවට පරිවර්තනය කරනවා කියලා කිව්වා. ඔවුන් ඒ වෙනස ඇති කරලා තිබෙනවා. අපි දියුණුවන රටක් වීම සඳහා නම් කළ වසර 2048යි. මෝදි අගමැතිතුමත් අවුරුදු සියය සැමරීමට පෙර නවීන ඉන්දියාවක් ඇති කරනවා කිව්වා. ඒ කියන්නෙ 2047 වසර. ඇයි ඉතිං අපට කරන්න බැරි. ඒ අභියෝගය ඔබ සියලු දෙනාම භාර ගන්න. එය ඔබට කරන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පූජ්‍ය රංවල ධම්මරක්ෂිත හිමි, පූජ්‍ය ඕනෑගම උපාලි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, හිටපු කතානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, අනන්ද විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු සහ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.