චීන විද්‍යුත් මෝටර් රථ දැවැන්තයෙකු වන BYD සමාගම, සිය සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ෆෝමියුලා වන් (Formula One) හෝ ලෙ මාන්ස් (Le Mans) වැනි ලෝක මට්ටමේ මෝටර් රථ තරගාවලි සඳහා ඇතුළත් වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම අමෙරිකානු වෙළඳපොළ තුළ සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි එම සමාගම විශ්වාස කරයි.
BYD සමාගම දැනටමත් ගෝලීය විද්‍යුත් මෝටර් රථ විකුණුම් අතින් ටෙස්ලා (Tesla) සමාගම අභිබවා ගොස් ඇති අතර, දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ යුරෝපීය සහ අමෙරිකානු නිෂ්පාදකයින් රජයන ජාත්‍යන්තර මෝටර් රථ තරග බිමට සෘජුවම අභියෝග කිරීමයි. මේ සඳහා ඔවුන් තමන්ගේම කණ්ඩායමක් නිර්මාණය කිරීම හෝ පවතින කණ්ඩායමක් මිලදී ගැනීම වැනි විකල්ප කිහිපයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය සඳහන් කරයි.
කෙසේ වෙතත්, F1 වැනි තරගාවලියකට පිවිසීම සඳහා වසරකට ඩොලර් මිලියන 500ක් (රුපියල් බිලියන 150කට අධික) වැනි දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුවීම ඔවුන්ට ඇති ප්‍රධානතම අභියෝගයකි. මේ සම්බන්ධයෙන් BYD සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, 2026 වසරේ සිට ක්‍රියාත්මක වන නව එන්ජින් නීති රීති (Hybrid engines) මෙම චීන නිෂ්පාදකයාට එම ක්ෂේත්‍රයට පිවිසීමට කදිම අවස්ථාවක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.














