එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් විමසිලිමත් සහ සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකරයි.
උත්සව සමයේ පවතින අධික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් විවිධ වංචනිකයන් විසින් ආකර්ෂණීය ඡායාරූප සහ අතිවිශාල වට්ටම් ප්‍රදර්ශනය කරමින් ව්‍යාජ පිටු (Fake Pages) සකස් කර පාරිභෝගිකයන් නොමඟ යැවීමේ ප්‍රවණතාවක් පවතින බව එම අධිකාරිය පෙන්වා දෙයි. මෙවැනි බොහෝ පිටු කෙටි කාලයකින් භාණ්ඩ සඳහා මුදල් ලබාගෙන පසුව අතුරුදහන් වන බැවින්, ඒවායේ නීත්‍යානුකූල භාවය සහ විශ්වාසවන්තභාවය තහවුරු කර ගැනීමෙන් තොරව ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බලධාරීහු උපදෙස් දෙති.
විශේෂයෙන්ම භාණ්ඩයක් ඇණවුම් කිරීමට පෙර අදාළ ආයතනයේ ලිපිනයන්, දුරකථන අංක සහ පෙර පාරිභෝගිකයන් ලබා දී ඇති සමාලෝචන (Reviews) පිළිබඳව සොයා බලන ලෙසත්, හැකිතාක් දුරට භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමවේදය (Cash on Delivery) භාවිත කරන ලෙසත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














