නායයාම් අවදානමට ලක්ව ඇති දෙනියාය මූලික රෝහල ආරක්ෂිත ස්ථානයක ප්‍රතිස්ථාපනය කරමින්, ඇඳන් 300කින් යුත් නවීන රෝහලක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
දැනට පවතින දෙනියාය මූලික රෝහල ඇඳන් 137ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය මාතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක 70,000කට අධික ජනතාවකට සෞඛ්‍ය සේවා සපයයි. මෙම රෝහල පිහිටි ප්‍රදේශයේ පවතින අධික බෑවුම් සහිත ස්වභාවය සහ වර්ෂාපතනය නිසා 2023 සහ 2024 වසරවලදී එහි හදිසි ප්‍රතිකාර ඒකකය සහ මාතෘ ඒකකය අවට ප්‍රදේශ කිහිප වරක්ම නායයාම්වලට ලක්ව තිබේ.
නව රෝහල ඉදිකිරීම සඳහා දෙනියාය නගරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලර්ඩ් වතුයායෙන් ආරක්ෂිත ඉඩමක් දැනටමත් අත්පත් කරගෙන ඇත. රුපියල් මිලියන 6,000ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිවන මෙම රෝහල තුළ වෛද්‍ය, ශල්‍ය, ප්‍රසව හා නාරිවේද, සහ ළමා රෝග යන විශේෂඥ සේවා මෙන්ම අක්ෂි, මානසික සහ විකිරණවේද ඇතුළු පුළුල් සෞඛ්‍ය සේවා රැසක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය 2026 අයවැය යෝජනාවලට සමගාමීව ක්‍රියාත්මක වන අතර, එය සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රදේශයේ ජනතාවට වඩාත් ආරක්ෂිත සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.















