නොරොච්චෝල ලක්විජය බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා මේ බව අනාවරණය කළේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේදීය.
මෙම හදිසි මිලදී ගැනීමට හේතු වී ඇත්තේ මීට පෙර දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල්අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලින් (Quality Tests) අසමත් වීමයි. ලක්විජය බලාගාරය වෙත ළඟා වූ පළමු නැව් තුනේම ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇති අතර, එහිදී තුන්වන නැවෙහි තිබූ ගල්අඟුරු පළමු නැව් දෙකටම වඩා ප්‍රමිතියෙන් ඉතා පහළ මට්ටමක පවතින බව ද මෙහිදී අනාවරණය විය.
ලබන මැයි මාසයේදී මෝසම් වැසි ආරම්භ වීමට පෙර බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග සුරක්ෂිත කර ගැනීමට නොහැකි වුවහොත් රට තුළ විදුලි අර්බුදයක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම හදිසි පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවන ලද දත්ත ඇතුළත් ලිපිය “අදාළ කර නොගන්නා ලෙස” නැවත දැනුම් දීම පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සිය විමතිය පළ කළේය.















