ඇමෙරිකාවේ වඩාත්ම ලිබරල්වාදී ප්‍රාන්තයක් වන කැලිෆෝනියාවේ (California) මීළඟ ආණ්ඩුකාරවරයා තේරීමේ ප්‍රාථමික මැතිවරණයට තව මාස දෙකක් පමණක් ඉතිරිව තිබියදී, ඩිමොක්‍රටික් පක්ෂය (Democratic Party) දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව අද (01) වාර්තා විය. දැනට ධුරය දරන ගැවින් නිව්සම්ගෙන් (Gavin Newsom) හිස්වන එම ධුරය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයින් රැසක් ඉදිරිපත් වීම නිසා පක්ෂයේ ඡන්ද පදනම බෙදී යාම මෙයට හේතුවයි.
කැලිෆෝනියාවේ පවතින “Jungle Primary” ක්‍රමය යටතේ පක්ෂ භේදයකින් තොරව සියලුම අපේක්ෂකයින් එකම බැලට් පත්‍රයකට ඇතුළත් කෙරේ. එහිදී වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයින් දෙදෙනා පමණක් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණයට සුදුසුකම් ලබයි. දැනට පවතින මත විමසුම් අනුව රිපබ්ලිකන් පක්ෂයේ (Republican Party) අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරියෙන් පසුවන අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයින් 8 දෙනෙකු අතර ඡන්ද බෙදී යාම නිසා අවසන් වටයට කිසිදු ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු තේරී පත් නොවීමේ අවදානමක් මතුව තිබේ.
ඩිමොක්‍රටික් පක්ෂයේ සභාපති රස්ටි හික්ස් (Rusty Hicks) ප්‍රකාශ කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය නොවැම්බර් මස පැවැත්වෙන කොංග්‍රස් මණ්ඩල මැතිවරණයට ද අහිතකර ලෙස බලපානු ඇති බවයි. විශේෂයෙන්ම කමලා හැරිස් (Kamala Harris) මෙම ධුරය සඳහා තරග නොකිරීමට තීරණය කිරීමත් සමඟ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර යම් උදාසීනත්වයක් හටගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අප්‍රේල් 15 වනදාට පෙර දුර්වල අපේක්ෂකයින්ට ඉල්ලා අස්වන ලෙස පක්ෂය දැනටමත් ඉල්ලීම් කර තිබේ.














