කාම්බෝජයේ නොරොඩොම් සීහාමොනි (Norodom Sihamoni) රජු තමන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවත්, ඒ සඳහා චීනයේ බීජිං නුවරදී ප්‍රතිකාර ලබමින් සිටින බවත් අද (අප්‍රේල් 10) නිල වශයෙන් ප්‍රකාශ කළේය. 72 හැවිරිදි වියේ පසුවන රජු සිය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත තවත් මාසයක සිට තුනක කාලයක් බීජිං නුවර රැඳී සිටිමින් ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳව එරට තොරතුරු අමාත්‍යාංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් සිය රටවැසියන් දැනුවත් කර තිබේ.
2004 වසරේදී සිය පියා වූ නොරොඩොම් සීහානුක් රජු රජකම අත්හැරීමෙන් පසු සීහාමොනි රජු කාම්බෝජයේ රජ පදවියට පත් විය. ඔහු රජු වීමට පෙර කලාව පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූවකු වූ අතර, චෙකොස්ලොවැකියාවේ වසර දහයකට වැඩි කාලයක් නර්තනය සහ රංග කලාව හදාරා පසුව ප්‍රංශයේ බැලේ (Ballet) ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. පසුව ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුනෙස්කෝ (UNESCO) ආයතනයේ කාම්බෝජ තානාපතිවරයා ලෙස ද සේවය කළේය
කාම්බෝජයේ වර්තමාන දේශපාලන ක්‍රමය තුළ රජු සතු වන්නේ බොහෝ දුරට චාරිත්‍රානුකූල භූමිකාවකි. එරට සැබෑ දේශපාලන බලය පසුගිය දශක කිහිපය පුරා හිටපු අගමැති හුන් සෙන් ඇතුළු රජය සතුව පවතී. කෙසේ වෙතත්, කාම්බෝජ වැසියන් අතර රජු ඉතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක් වන බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එරට වැසියන් මේ වන විට දැඩි අවධානයෙන් පසුවේ.














