කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැනඩාවේ ආයතනයක් සමඟ සම්බන්ධතා පවත්වන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මෙම මුදල් වංචා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාර්යාංශය වෙත පැමිණිලි 9ක් ලැබී තිබුණි. මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් අතර, ඔහු විසින් අනෙක් සැකකරුවන් දෙදෙනාගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව ඉතිරි සැකකරුවන් දෙදෙනා අප්‍රේල් 08 සහ 09 දිනවලදී අත්අඩංගුවට ගෙන ඊයේ (09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් කළ හැක්කේ බලපත්‍රලාභී නියෝජිතායතනවලට පමණක් බව පෙන්වා දෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් රැකියාවක් සඳහා මුදල් ලබා දීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු විමසා බලන ලෙස ද කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.














