කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනිඅවි සම්බන්ධ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කැනේඩියානු දේශසීමා සේවා නියෝජිතායතනය (CBSA) විසින් එරටින් පිටුවහල් කර තිබේ. අර්ෂ්දීප් සිං (Arshdeep Singh) සහ සුක්නාස් සිං සන්ධු (Sukhnaaz Singh Sandhu) ලෙස හඳුනාගෙන ඇති මොවුන් දෙදෙනාම ජාත්‍යන්තර සිසුන් ලෙස කැනඩාවට පැමිණ ඇල්බර්ටා (Alberta) ප්‍රාන්තයේ එඩ්මන්ටන් හි පදිංචිව සිටි අය වෙති.
අර්ෂ්දීප් සිං 2022 වසරේදී අධ්‍යාපන අවසර පත්‍රයක් මත කැනඩාවට පැමිණ ඇති අතර, 2025 නොවැම්බර් මාසයේදී ඔහු කප්පම් ගැනීම්, ගිනි තැබීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මහජනයාට අනතුරක් බව තීරණය කළ කැනේඩියානු බලධාරීන් 2026 ජනවාරි 19 වනදා ඔහුව ඉන්දියාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ. සුක්නාස් සිං සන්ධු 2016 වසරේදී කැනඩාවට පැමිණ ඇති අතර, ඔහු ද අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් 2026 පෙබරවාරි 3 වනදා එරටින් පිටුවහල් කර ඇත.
විශේෂත්වය වන්නේ, සුක්නාස් සිං සන්ධු තමන්ව පිටුවහල් කිරීමට එරෙහිව නීතිමය සටනක නිරත වීමයි. තමන් ‘කාලිස්ථාන්’ (Khalistan) වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින සික් බෙදුම්වාදී ව්‍යාපාරයට සහය දක්වන බැවින්, ඉන්දියාවට ගියහොත් තමන්ට දේශපාලන හිරිහැරවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු තර්ක කළද, කැනේඩියානු බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. කැනඩාව තුළ මෑතකදී ඉහළ ගිය කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා එරට රජය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිටුවහල් කිරීම් සිදු කර ඇත.
















