කැනඩාවේ පදිංචිව සිටි ඉරාන රජයේ ප්‍රබල විවේචකයෙකු වූ මසූඩ් මස්ජූඩි (Masood Masjoody) නැමැති ක්‍රියාකාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට සහ කාන්තාවකට එරෙහිව කැනඩා බලධාරීන් විසින් ඊයේ (17) නඩු පවරා තිබේ. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබි නුවර පදිංචිව සිටි හිටපු විශ්වවිද්‍යාල ගණිත කථිකාචාර්යවරයෙකු වූ මස්ජූඩි, පසුගිය පෙබරවාරි මස මුලදී අතුරුදහන් වූ අතර ඔහුගේ සිරුර මාර්තු 6 වනදා මිෂන් නගරයේ තිබී සොයාගන්නා ලදී.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේපල් රිජ් හි පදිංචි 48 හැවිරිදි මෙහ්දි අහමඩ්සාදේ රසාාවි (Mehdi Ahmadzadeh Razavi) සහ නෝර්ත් වැන්කුවර් හි පදිංචි 45 හැවිරිදි අරේසු සොල්තානි (Arezou Soltani) නැමැත්තන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනාටම පළමු පෙළ මිනීමැරුම් චෝදනා එල්ල කර ඇති අතර, සැකකරුවන් සහ මියගිය පුද්ගලයා අතර පෙර සබඳතා තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මස්ජූඩි විසින් මීට පෙර රසාාවි සහ සොල්තානිට එරෙහිව අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබූ බව ද වාර්තා වේ.
ඉරානයේ වත්මන් පාලන තන්ත්‍රය මෙන්ම පිටුවහල් කර සිටින ඉරාන රජ පවුල ද දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකු ලෙස මස්ජූඩි ප්‍රකටව සිටියේය. ඔහු මීට පෙර ඉරාන රජයට සහ සයිමන් ෆ්‍රේසර් විශ්වවිද්‍යාලයට එරෙහිව ද නීතිමය පියවර ගෙන තිබුණි. මෙම ඝාතනයත් සමඟ කැනඩාව තුළ වෙසෙන ඉරාන විරුද්ධවාදීන් ඉලක්ක කර විදේශීය බලපෑම් එල්ල වීම පිළිබඳව එරට ඉරාන ප්‍රජාව අතර දැඩි භීතියක් සහ කනස්සල්ලක් හටගෙන තිබේ. කැනේඩියානු බුද්ධි අංශ ද මීට පෙර ඉරානයෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳව අනතුරු අඟවා තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ.
















