ගංජා (Cannabis) භාවිතය සහ කාංසාව (Anxiety) මෙන්ම විෂාදය (Depression) වැනි මානසික සෞඛ්‍ය ගැටලු අතර ඉතා ප්‍රබල සබඳතාවක් පවතින බව කැනේඩියානු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. බොහෝ රටවල ගංජා භාවිතය නීතිගත කර තිබුණද, එමගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳව මෙම වාර්තාව දැඩි ලෙස අනතුරු අඟවයි. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය (McMaster University) විසින් වසර දහයකට වැඩි කාලයක් පුරා පුද්ගලයන් 35,000කට අධික පිරිසකගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ‘The Canadian Journal of Psychiatry’ සඟරාවේ පළ කර ඇත.
පර්යේෂණයට අනුව, සතියකට කිහිප වතාවක් ගංජා භාවිතා කරන පුද්ගලයන් කාංසාව, විෂාදය හෝ සියදිවි නසාගැනීමේ සිතිවිලි වාර්තා කිරීමට ඇති ඉඩකඩ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා පස් ගුණයකින් වැඩිය. විශේෂයෙන්ම 2012 සිට 2022 දක්වා කාලය තුළ ගංජා භාවිතා කරන පුද්ගලයන් අතර සාමාන්‍ය කාංසාව සහ දරුණු විෂාද තත්ත්වයන් වාර්තා වීම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තරුණ පරපුර අතර මෙම අවදානම තවත් දරුණු වී ඇති අතර, ඔවුන් අතර සියදිවි නසාගැනීමේ සිතිවිලි වර්ධනය වීම 44%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
පර්යේෂණයේ ප්‍රධාන කතෘ ජිලියන් හැලඩේ (Jillian Halladay) පවසන්නේ ගංජා භාවිතය සහ මානසික සෞඛ්‍ය ගැටලු අතර පවතින මෙම සහ-සම්බන්ධතාවය කාලයත් සමඟ ශක්තිමත් වී ඇති බවයි. බොහෝ දෙනා නින්ද නොයාම හෝ මානසික සහනය සඳහා ගංජා භාවිත කිරීමට පෙළඹුණද, එය අවසානයේදී මනෝවිකෘති (Psychosis) තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. සිය මානසික සෞඛ්‍යය කෙරෙහි ගංජා භාවිතය කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව පුද්ගලයන් මීට වඩා අවධානයෙන් සිටිය යුතු බව ඔවුන්ගේ උපදෙසයි.















