ප්‍රකට කොන්සර්වේටිව් දේශපාලන විචාරිකාවක සහ පෝඩ්කාස්ට් ඉදිරිපත් කරන්නියක වන කැන්ඩස් ඕවන්ස් (Candace Owens), ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය සමඟ අත්වැල් බැඳ ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඇය සිය X ගිණුම හරහා අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රියාකලාපය පිළිබඳව ද සිය අප්‍රසාදය පළ කර ඇත.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කිමේනි ඝාතනය වීමෙන් පසු ඇරඹි මෙම යුද්ධයේදී මේ වන විට අවම වශයෙන් ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇමෙරිකාව මෙම යුද්ධයට අනවශ්‍ය ලෙස මැදිහත් වී ඇති බවට ට්‍රම්ප් පක්ෂපාතී පිරිස් අතරින්ම විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක, රිපබ්ලිකන් පාක්ෂිකයන් තවමත් ට්‍රම්ප්ට සහාය දක්වන බව පවසමින් පළ වූ වාර්තා ඕවන්ස් ප්‍රතික්ෂේප කරයි.
ඇය සිය ප්‍රකාශය මගින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පිළිබඳව පළ වන නවතම මත විමසුම් දත්ත “ප්‍රබන්ධ” බවත්, සැබෑ රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙම යුද්ධයට සහාය නොදක්වන බවත්ය. සිය පාක්ෂික පදනම මෙම යුද්ධය අවශ්‍ය බව පවසන බවට ට්‍රම්ප්ව මුළා කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවට ද ඇය චෝදනා කරයි. යුද්ධයේ පවතින අසාර්ථකත්වය වසා ගැනීමට මෙවැනි පුවත් පළ කරන බව පවසන ඇය, මෙය ඇමෙරිකාවට වඩා ඊශ්‍රායලයේ අවශ්‍යතාවයක් බව ද ඉඟි කර තිබේ.














