ප්‍රකට රැප් ගායනා ශිල්පිනී කාඩි බී, තමා මූල්‍ය වංචාවකට ගොදුරු වී ඇති බවත්, තම ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ඇමරිකානු ඩොලර් 60,000ක් (පවුම් 45,000ක් පමණ) වියදම් කළ පුද්ගලයන් සිරගත කළ යුතු බවත් ප්‍රකාශ කර තිබේ. සිය ‘Little Miss Drama’ ප්‍රසංග චාරිකාවේ අවසන් අදියරේ පසුවන ඇය, ඉන්ස්ටග්‍රෑම් සජීවී වීඩියෝවක් (Instagram Live) හරහා මෙම අනාවරණය සිදු කරමින් කියා සිටියේ මීට සති දෙකකට පෙර තම ‘American Express’ කාඩ්පත අස්ථානගත වූ බවයි.
සොරුන් විසින් එම කාඩ්පත භාවිතා කර ‘Saks Fifth Avenue’ විලාසිතාගාරයෙන් ඩොලර් 40,000ක ඇඳුම් පැළඳුම් ද, ‘Apple’ ප්‍රදර්ශනාගාරයකින් ඩොලර් 20,000ක භාණ්ඩ ද මිලදී ගෙන ඇති බව ඇය පවසයි. සැකකාර පුද්ගලයන් සිව්දෙනෙකු කාඩ්පත භාවිතා කරන ආකාරය දැක්වෙන පැහැදිලි සීසීටීවී (CCTV) දර්ශන තමා සතුව ඇති බවත්, ඔවුන් මෙම සතිය අවසන් වීමට පෙර සිරගෙට යවන බවත් ඇය අවධාරණය කළාය. තම දුරකථනයට ලැබුණු ගනුදෙනු පිළිබඳ දැනුම්දීම් (Notifications) සහ ගණකාධිකාරීවරයාගේ ඇමතුම් මඟින් මෙම වංචාව ඉක්මනින් හඳුනාගත් බව ද ඇය සඳහන් කළාය.
ග්‍රැමී සම්මානලාභී මෙම ගායන ශිල්පිනිය පවසන්නේ තමා සතු ධනය කෝටි ගණනක් වුවද, තම මුදල් අනවශ්‍ය ලෙස වැය වීමට ඉඩ නොදෙන බවයි. පොලිස් පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින් සැකකරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා නොහරින ලෙස ආරක්ෂක අංශ තමාට උපදෙස් දී ඇති බව ද ඇය පැවසුවාය. වංචාකරුවන් අත්අඩංගුවට ගෙන තමාට අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බව පවසන ඇය, මූල්‍ය වංචා පිළිබඳව සිය රසිකයන්ව ද දැනුවත් කිරීමට මෙහිදී පියවර ගත්තාය.
















