කළුතර 117 වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) පෙරවරුවේ සහභාගී වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ පවුල් ජීවිත කඩාකප්පල් වීම භයානක වසංගතයක් මෙන් පැතිර යන බවයි. හුදෙක් බාහිර රූපයට සහ හැඟීම්වලට පමණක් වහල් වී විවාහ වී කෙටි කලකින් එම බැඳීම් අතහැර දමන තත්ත්වයක් අද සමාජයේ දක්නට ලැබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විවාහය යනු “සෙල්ලමක්” නොවන බවත්, පවුල යනු සමාජයේ මෙන්ම කතෝලික සභාවේ ද කුඩාම ඒකකය බවත් සිහිපත් කළ කාදිනල් හිමියෝ, පවුල ශක්තිමත් නම් පමණක් මුළු මහත් සමාජයම ශක්තිමත් වන බව අවධාරණය කළහ. පවුල් ජීවිතය තුළ භක්තිවන්තභාවය සහ අවබෝධය ගොඩනඟා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළහ.














