මෙරට පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බවත්, විවාහ ජීවිතය සෙල්ලමක් බවට පත් කරගෙන ඇති බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති. කළුතර ලූර්දු මාතා දේවස්ථානයේ 117 වන වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ප්‍රවණතාවයක් වසංගතයක් මෙන් සමාජය තුළ පැතිර යමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විවාහය වැනි වැදගත් තීරණයකදී හුදෙක් බාහිර රූපයට, පෙනුමට හෝ තාවකාලික හැඟීම්වලට පමණක් වහල් වී තීරණ ගැනීම මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බව කාදිනල්තුමා පැහැදිලි කළහ. එවැනි පදනමක් නැති විවාහයන් කෙටි කලකින් අතහැර දැමීමට පෙළඹෙන පිරිසක් අද වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව ජනිත වෙමින් පවතින බව උන්වහන්සේ කනගාටුවෙන් යුතුව සඳහන් කළහ.
පවුල යනු සමාජයේ මෙන්ම කතෝලික සභාවේ ද කුඩාම සහ ප්‍රධානතම ඒකකය වන බැවින්, පවුල ශක්තිමත් වීම තුළින් පමණක් ශක්තිමත් සමාජයක් සහ භක්තිවන්ත සභාවක් ගොඩනැගිය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ. සාර්ථක පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම සමස්ත රටේම අනාගතය යහපත් වීමට මූලික වන බව උන්වහන්සේගේ දේශනයේ සාරාංශය විය.














