දිල්ලි මහ නගර සභාවේ (MCD) බලපත්‍ර අංශයට සම්බන්ධ රුපියල් ලක්ෂ 4ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුව මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් නිලධාරියා MCD හි ෂාදාරා උතුර (Shahdara North) කලාපයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් අභිෂේක් කුමාර් මිස්රා (Lt Col Abhishek Kumar Mishra) බව හඳුනාගෙන ඇත.
බලපත්‍ර පරීක්ෂකවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 4ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව CBI කණ්ඩායම විසින් එලන ලද උගුලකට හසුව නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ ගිණුම් නිලධාරී දිව්‍යංශු ගෞතම් (Divyanshu Gautam) යන දෙදෙනාම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම රතු අතටම අසු වී තිබේ. මෙම සිද්ධියට අදාළව තවත් දූෂණ වංචා රැසක් අනාවරණය විය හැකි බව CBI විමර්ශකයෝ සැක කරති.
අත්අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් මේ වන විට දැඩි ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, අද (31) සවස් කාලයේදී මෙම සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ කිරීමට CBI ආයතනය බලාපොරොත්තු වේ. මෑත කාලීනව දිල්ලි මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අල්ලස් චෝදනාවකට මෙලෙස හසුවීම එරට පරිපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
















