මධ්‍යම ද්විතීයික අධ්‍යාපන මණ්ඩලය (CBSE) විසින් පවත්වනු ලබන විභාග සහ ඇගයීම් ක්‍රියාවලීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු පළ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව එම මණ්ඩලය අද (16) අනතුරු ඇඟවීය.
විභාග ඇගයීම් කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති දැඩි ප්‍රොටෝකෝල උල්ලංඝනය කරමින්, ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳ අදහස්, මත හෝ අත්දැකීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ද මණ්ඩලය අවධාරණය කළේය. මෙවර 12 වන ශ්‍රේණියේ විභාග සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ඇගයීම් ක්‍රමවේදය (On Screen Marking) සම්බන්ධයෙන් ද මෙම නීති අදාළ වේ.
අදාළ නොවන පුද්ගලයින් විසින් පළ කරනු ලබන සාවද්‍ය තොරතුරු හේතුවෙන් විභාග පද්ධතියේ විශ්වසනීයත්වයට හානි වන අතර සිසුන් සහ දෙමාපියන් අනවශ්‍ය ලෙස ව්‍යාකූලත්වයට පත්වන බව විභාග පාලක වෛද්‍ය සංයම් භාරද්වාජ් මහතා පෙන්වා දුන්නේය. පෙබරවාරි 18 වැනිදා ආරම්භ වූ 2026 වසරේ 10 සහ 12 ශ්‍රේණිවල CBSE විභාග කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.














