ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුදමය ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ (Gulf countries) පිහිටි ඉන්දීය පාසල්වල පැවැත්වීමට නියමිතව තිබූ CBSE 10 සහ 12 ශ්‍රේණිවල වාර විභාග නැවත දැනුම් දෙනතුරු කල් දැමීමට මධ්‍යම ප්‍රවේශ විභාග මණ්ඩලය (CBSE) අද (මාර්තු 03) තීරණය කර තිබේ.
ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 05) සහ සිකුරාදා (මාර්තු 06) පැවැත්වීමට නියමිතව තිබූ විභාග මෙලෙස කල් දමා ඇත. මීට පෙර මාර්තු 02 වැනිදා පැවැත්වීමට තිබූ විභාග ද යුදමය තත්ත්වය නිසා කල් දැමූ අතර, මෙය දෙවැනි වරට විභාග කල් දැමූ අවස්ථාව වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), සෞදි අරාබිය, බහරේනය, ඉරානය, කුවේටය, ඕමානය සහ කටාරය යන රටවල පිහිටි CBSE අනුබද්ධිත පාසල් 150කට අධික සංඛ්‍යාවක සිසුන් දහස් ගණනකට මෙමගින් බලපෑම් එල්ල වේ.
ලබන සෙනසුරාදා (මාර්තු 07) සිට පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් එදින පවතින ආරක්ෂක තත්ත්වය නැවත සමාලෝචනය කර බ්‍රහස්පතින්දා දිනයේදී අවසන් තීරණයක් ගන්නා බව විභාග මණ්ඩලය පවසයි. සියලුම සිසුන්ට සිය පාසල් සමඟ සමීපව කටයුතු කරමින් නවතම තොරතුරු ලබාගන්නා ලෙස උපදෙස් දී ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි විභාග කල් දැමීමක් සිදුවන්නේ අතිශය අසාමාන්‍ය අවස්ථාවලදී පමණි. මීට පෙර 2020 සහ 2021 වසරවල කොවිඩ් වසංගතය හේතුවෙන් මෙලෙස විභාග කල් දැමූ අතර, මෙවර මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අනාරක්ෂිත බව නිසා මෙම පියවර ගෙන තිබේ.














