ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බවත්, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී සියලු පාර්ශ්වයන් මනා අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (මාර්තු 13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. විදුලිබල මණ්ඩලය නව සමාගම් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවකයන් සතු සියලු අයිතිවාසිකම් ඒ අයුරින්ම තහවුරු කරන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතිකයක් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ රජය අපහසුතාවයට පත් කිරීමට හෝ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි. නව සමාගම් තුළ විධිමත් පත්වීම් ලිපි ලබා ගැනීම සහ සාමූහික ගිවිසුමක අවශ්‍යතාව පිළිබඳව ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කළහ. බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී එකඟ වූ පරිදි මෙම සාමූහික ගිවිසුම් කඩිනමින් කැබිනට් අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
ලංකාවේ අනාගත ආර්ථික සැලසුම් සියල්ල බලශක්තිය මත තීරණය වන බැවින්, ශක්තිමත් ආයතනික ව්‍යුහයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. දත්ත පද්ධති විධිමත් කිරීම සහ ඉහළ මූල්‍ය විනයක් ඇති කිරීම මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික අරමුණු බව ද ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම පසුගියදා ඇති වූ “දිවා” සුළි කුණාටුව ඇතුළු හදිසි අවස්ථාවලදී විදුලිබල මණ්ඩල සේවකයන් කළ කැපවීම ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය. මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරු ද සහභාගී වූහ.














