2026 වසරේ දෙවන කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් වාචිකව අදහස් ලබාගැනීමේ අවසන් පළාත් මට්ටමේ මහජන උපදේශන වාරය හෙට (18) කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) කටයුතු යොදා ඇත. මෙම සැසිය කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි ‘ලැවෙන්ඩර්’ ශාලාවේදී පෙවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි 13 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අප්‍රේල් 1 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 13.56% කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙසයි. මීට පෙර 2026 වසරේ පළමු කාර්තුව සඳහා ද විදුලිබල මණ්ඩලය 11.57% ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කළ ද, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අනුමැතිය ලබා දුන්නේ නැත.
මෙම මහජන උපදේශන මාලාව පෙබරවාරි 25 වනදා සිට පළාත් මට්ටමින් ආරම්භ වූයේ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17(ඇ) වගන්තිය සහ 2009 අංක 20 දරන විදුලිබල පනතේ 30 වගන්තියට අනුකූලවය. හෙට පැවැත්වෙන මෙම අවසන් සැසිය හරහා බස්නාහිර පළාතේ පාරිභෝගිකයන්ට, වෘත්තීය සමිතිවලට සහ සිවිල් සංවිධානවලට සිය අදහස් හා යෝජනා සෘජුවම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.














