ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමත් සමඟ විදුලි පාරිභෝගිකයන්ට උපරිම වාසි සැලසෙන පරිදි තරගකාරී වෙළඳපොලක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 09 වන දින රැස්වූ මෙම කාරක සභාවේදී විදුලිබල මණ්ඩලය අහෝසි වීමෙන් පසු පිහිටුවා ඇති නව අනුප්‍රාප්තික සමාගම් හයේ ව්‍යුහයන් සහ ඉදිරි කාර්යයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙම නව ව්‍යුහය යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් කටයුතු සඳහා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර්, නැෂනල් සිස්ටම් ඔපරේටර් (NSO) සහ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා වැනි සමාගම් පිහිටුවා ඇත. මින් පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ 23,000ක පමණ සේවක පිරිසෙන් 2,000ක් පමණ ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉවත්ව ඇති අතර, ඉතිරි 21,000කට ආසන්න පිරිස මෙම නව සමාගම්වල සේවයේ පිහිටුවා ඇති බව නිලධාරීන් මෙහිදී අනාවරණය කළහ.
විදුලිබල ක්ෂේත්‍රයේ පවතින දූෂණ හා නාස්තිය අවම කරමින් විනිවිදභාවයකින් යුතුව විදුලිය මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ක්‍රියාත්මක වන “Energy Exchange” වැනි ක්‍රමවේදයක් මෙරට ද ස්ථාපිත කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී පද්ධති ස්ථායිතාවය පවත්වා ගනිමින් තරගකාරී වෙළඳපොලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. එසේම වර්තමානය වන විට මෙරට මුළු විදුලි පද්ධතියෙන් 22%-25%ක ප්‍රමාණයක් සූර්ය විදුලියෙන් ලබා ගන්නා බවත්, ඉදිරියේදී බැටරි පද්ධති භාවිතය හරහා එම ප්‍රතිශතය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. අවසානයේදී මෙම නව සමාගම්වල වත්කම්, දේපල සහ සේවක සංඛ්‍යාව ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.














