ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් හතරේ අධ්‍යක්ෂ මණ්ඩල සහ වෘත්තීය සමිති අතර අද (10) පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් පසු, සේවකයන් ඉදිරිපත් කළ ඉල්ලීම් 64න් 62ක් ලබාදීමට පාලනාධිකාරිය එකඟතාව පළ කර තිබේ. මෙම එකඟතාවය පිළිබඳව අදාළ සමාගම් හතරේ සභාපතිවරුන්ගේ අත්සනින් යුතුව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර ඇත.
පවතින වැඩවර්ජනය හේතුවෙන් මහජනතාව පත්ව ඇති දැඩි අපහසුතාවය සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස මෙහිදී සභාපතිවරුන් වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියහ. එලෙස සේවයට වාර්තා කරන්නේ නම්, මෙතෙක් එකඟතාවකට නොපැමිණි ඉතිරි ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් ලබාදීමට ද පාලනාධිකාරිය පොරොන්දු වී තිබේ.














