කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර සිරුරු වළදමා ඇති බවට සැකකෙරෙන 42 හැවිරිදි හිටපු ප්‍රංශ පොලිස් නිලධාරියෙකු වන සෙඩ්රික් ප්‍රිසොන් (Cédric Prizzon) පෘතුගාල පොලිසිය (GNR) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රගන්සා (Bragança) හි සෙරා ඩා නොගුයිරා කඳුකර ප්‍රදේශයේ වළදමා තිබියදී සොයාගත් මෙම සිරුරු, සැකකරුගේ හිටපු සහකාරියගේ සහ වත්මන් සහකාරියගේ බවට හඳුනාගෙන ඇත.
ප්‍රංශ බලධාරීන් විසින් දින හතරක් පුරා සොයමින් සිටි මෙම සැකකරු, පෘතුගාලයේ ගුවාඩා (Guarda) දිස්ත්‍රික්කයේ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ ලේඛන සහ නීති විරෝධී ගිනිඅවියක් හේතුවෙන් මුලින්ම අත්අඩංගුවට පත්විය. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෝටර් රථය තුළ ඔහුගේ වයස අවුරුදු 13ක සහ මාස 18ක කුඩා දරුවන් දෙදෙනා ද සිට ඇති අතර, ඔවුන් මේ වන විට ආරක්ෂිතව රජයේ භාරයට ගෙන තිබේ. ඝාතනයට ලක්වූ සිරුරු සොයා ගැනීමට පෘතුගාල බලධාරීන්ට සහාය වී ඇත්තේ සැකකරුගේ 13 හැවිරිදි වැඩිමල් පුත්‍රයා ලබාදුන් තොරතුරු බව වාර්තා වේ.
ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන පරිදි, සෙඩ්රික් ප්‍රිසොන් මීට පෙර සිය හිටපු සහකාරියට එරෙහිව ගෘහස්ථ හිංසනය සිදුකිරීම සම්බන්ධයෙන් ද වරදකරු වූ අයෙකි. ඔහු සිය දරුවන්ගේ භාරකාරත්වය අහිමි වූ අයෙකු වන අතර, පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ ඉදිරිපත් කරමින් සිය පුත්‍රයා අනතුරේ සිටින බවට ප්‍රකාශ කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රංශ පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරි පැය කිහිපය තුළ පෘතුගාලය බලා යාමට නියමිතය.













