ලොව සුපතල ගායන ශිල්පිනී සෙලීන් ඩියොන් (Céline Dion) සිය 58 වන උපන්දිනය යෙදුණු අද දිනයේදී යළිත් සංගීත ප්‍රසංග සඳහා එක්වන බව නිවේදනය කර තිබේ. සුව කළ නොහැකි ස්නායු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයගේ ගායන හැකියාවට සහ ඇවිදීමේ හැකියාවට බාධා එල්ල වීම නිසා පසුගිය වසර හතරක කාලය තුළ ඇය ප්‍රසංග වේදිකාවෙන් ඈත්ව සිටියාය.
“My Heart Will Go On” වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කළ මෙම කැනේඩියානු සුපිරි තරුව, එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පැරිසියේ ‘La Défense Arena’ හි රාත්‍රී 10ක් පුරා පැවැත්වෙන විශේෂ ප්‍රසංග මාලාවකට එක්වීමට නියමිතය. මෙම නැවත පැමිණීම තම ජීවිතයේ ලැබුණු වටිනාම තෑග්ග බවත්, තමන් දැන් ඉතා ශක්තිමත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා රසිකයන්ට දන්වා සිටියාය.
තම රෝගී තත්ත්වය පාලනය කරගනිමින් යළිත් ගායනයට සහ නර්තනයට එක්වීමට හැකිවීම පිළිබඳව ඇය සතුට පළ කළාය. එමෙන්ම තමා පීඩාවට පත්ව සිටි කාලය පුරා ලොව පුරා විසිරී සිටින රසිකයන් ලබා දුන් ආදරය සහ ආශිර්වාදය තමන්ට විශාල ශක්තියක් වූ බව ද සෙලීන් ඩියොන් වැඩිදුරටත් කෘතවේදීව සිහිපත් කළාය.














