ඉරානය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරයන්හි නිරවද්‍යතාව සහ වේගය ඉහළ නැංවීම සඳහා නවීන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරන බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) තහවුරු කරයි. අමෙරිකානු මධ්‍යම විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අනාවරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු ප්‍රහාරක යානා සහ නියමුවන් රහිත යානා සඳහා මෙම දියුණු AI තාක්ෂණය ඒකාබද්ධ කර ඇති බවයි. මෙමගින් යුද පිටියේ පවතින අතිවිශාල දත්ත ප්‍රමාණයක් ඉතා කෙටි කාලයකින් විශ්ලේෂණය කර තීරණ ගැනීමටත්, සතුරු ඉලක්ක නිවැරදිව හඳුනා ගැනීමටත් හැකියාව ලැබී තිබේ. මීට පෙර දත්ත පරීක්ෂා කිරීම සඳහා ගතවූ පැය ගණනක කාලය, මෙම නව පද්ධති හරහා තත්පර කිහිපයක් දක්වා අවම කර ගැනීමට හැකි වී ඇති බව ද අද්මිරාල්වරයා සඳහන් කළේය.
තාක්ෂණය මෙතරම් දියුණු වුවද, ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ අවසන් තීරණය සෑම විටම මිනිස් මැදිහත් වීමෙන් සිදු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ අමෙරිකාව සිය යුද ශක්තිය ඉහළ නැංවීමට මෙලෙස උසස් තාක්ෂණය භාවිත කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි.














