ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජිත ස්වාධීන අධිකාරියක් සහ ‘ජාතික දේශගුණික සහ සොබාදහම ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල’ (CANOPI Fund) ස්ථාපිත කිරීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි 2025-2030 කාලවකවානුව සඳහා වන ‘ශ්‍රී ලංකා දේශගුණික මූල්‍ය උපායමාර්ගය’ 2025 ඔක්තෝබර් 24 වන දින එළිදක්වා තිබුණි. මෙරටට දැඩි බලපෑම් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් ඒකරාශී කරමින් නීත්‍යානුකූල බලතල සහිත අධිකාරියක් යටතේ නව ඒකාබද්ධ රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.
එමෙන්ම, දේශගුණික බලපෑම් අවම කිරීම, අනුවර්තනය කිරීම සහ පරිසර සංරක්ෂණය වැනි කාර්යයන් සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් මූල්‍ය ප්‍රතිපාදන රැස් කරගැනීම මෙම CANOPI අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට අනුකූලව මෙම යෝජිත අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කරනු ලබන ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.














