මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජල මූලාශ්‍ර සිඳී යාම නිසා හැටන් සහ දික්ඔය නගරවල ජලය නිකුත් කිරීම සීමා කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. හැටන් සිංගිමලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම සීමා වී ඇති අතර, මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම ප්‍රදේශයේ ආපනශාලා හිමියන් ඇතුළු ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
පවතින තත්ත්වය මත දික්ඔය බටල්ගල ජල පොම්පාගාරය මගින් ලබා ගන්නා ජලය උපයෝගී කරගනිමින් දිනක් හැර දිනක්, දිනකට පැය 3ක් හෝ 4ක් වැනි කෙටි කාලයකට පමණක් ජලය නිකුත් කිරීමට බලධාරීන්ට සිදුව ඇත. මේ නිසා ප්‍රදේශයේ ආපනශාලා හිමියන්ට පවා මුදල් ගෙවා ලොරි රථ මගින් දුර බැහැර ප්‍රදේශවලින් ජලය රැගෙන ඒමට සිදුව තිබේ. අධික වියලි කාලගුණයට අමතරව ජල මූලාශ්‍ර පිහිටි රක්ෂිතවලට පිරිසක් විසින් ගිනි තැබීම ද මෙම ජල මට්ටම පහත වැටීමට ප්‍රධාන හේතුවක් බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේය.
නැවත වර්ෂාව ලැබී ජල මට්ටම යථා තත්ත්වයට පත්වන තෙක් පවතින සීමිත ජල සංචිතය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි. වියළි කාලගුණයත් සමඟ රක්ෂිතවලට ගිනි තැබීමෙන් වළකින ලෙසත්, එවැනි ක්‍රියා නිසා පවතින ජල අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවත් බලධාරීන් වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.














