රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂණ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත ලබා දුන් උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් ආරක්ෂණ ධාරිතාව වර්ධනය කිරීමේ අඛණ්ඩ පියවරක් ලෙස සැලකේ. පාර්ලිමේන්තු මහලේකම් කුශාණි රෝහනධීර මහත්මිය ඇතුළු සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පුහුණු සැසි ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් අනන්ද, ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සහ ව්‍යාපෘති කළමනාකරු තිලින දිසානායක යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබීය. මෙහිදී සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිත කිරීම, අන්තර්ජාල ආරක්ෂාව, සයිබර් අවකාශයේ මතුවන අර්බුද කළමනාකරණය සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම විශේෂයෙන් සිදු විය.














