ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 30 සිට 50 දක්වා වූ තරුණ සහ මැදිවියේ පුද්ගලයන් අතර මහාන්ත්‍ර (Colon) සහ ගුදමාර්ග (Rectal) පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, මීට පෙර වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබුණු මෙම පිළිකා වර්ග දැන් තරුණ පරපුර අතර ව්‍යාප්ත වීම බරපතල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවයි. ගෝලීය වශයෙන් ද මෙවැනිම ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, කලින් හඳුනා ගැනීම, නිසි වේලාවට රෝග විනිශ්චය කර ගැනීම සහ පොදු ජනතාව තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම මාරාන්තික තත්ත්වය පාලනය කිරීමට අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කළාය. මුල් කාලීන රෝග ලක්ෂණ නොසලකා නොහරින ලෙසත්, කිසියම් සැක සහිත ලක්ෂණයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














