මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙරට ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් රජය වෙත විශේෂ ප්‍රතිපත්තිමය නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇති වාණිජ මණ්ඩලය ඉන්ධන බෙදා හැරීම සඳහා QR ක්‍රමවේදය නැවත හඳුන්වා දීම වැනි පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය සතුට පළ කර සිටී. එලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සහ නියමිත මූල්‍ය වාරික ලබා ගැනීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ද එම මණ්ඩලය පෙන්වා දෙයි.
ඉදිරි කාලසීමාව තුළ ඇතිවිය හැකි සැපයුම් දාම බාධාවන් කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රමුඛතා ආර්ථික අංශ (Essential services and priority economic sectors) ඇතුළත් ලැයිස්තුවක් කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. ඉන්ධන සහ විදේශ විනිමය වැනි සීමිත සම්පත් වෙන් කිරීමේදී මෙම ප්‍රමුඛතා ලැයිස්තුව මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. එමෙන්ම සංචාරක කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ගුවන් යානා ඉන්ධන (Aviation fuel) සපයා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඉල්ලා ඇත.
පවතින ඉන්ධන පීඩනය අවම කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය විසින් යෝජනා කර ඇති තවත් වැදගත් පියවර කිහිපයක් මෙසේය. අපනයන කර්මාන්ත සහ සංචාරක හෝටල් සඳහා අවශ්‍ය ඉන්ධන ස්වාධීනව සපයා ගැනීමට මෙරට බලපත්‍රලාභී බන්කර් සමාගම්වලට අවස්ථාව ලබා දීම සහ ඒ සඳහා විදේශ විනිමය පදනම් කරගත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීම එක් යෝජනාවකි. මීට අමතරව ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳහා “නිවසේ සිට වැඩ කිරීමේ” (Work-from-home) ක්‍රමවේදය හඳුන්වා දීම සහ එළඹෙන අවුරුදු නිවාඩුවට පෙර පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා සබැඳි (Online) අධ්‍යාපන ක්‍රමවේද වෙත තාවකාලිකව යොමු වීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස යෝජනා කර තිබේ.
අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වැය වන විදේශ විනිමය සීමා කරමින් ඉන්ධන, ආහාර, ඖෂධ සහ අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. ගෝලීය වශයෙන් එල්ල විය හැකි ආර්ථික කම්පනයන් හමුවේ ව්‍යාපාරික ප්‍රජාවට සිය සැලසුම් සකස් කර ගැනීම සඳහා රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඔවුන්ව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.














