ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට අනුබද්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළදී සේවකයින් මුහුණ දෙන ගැටලු විසඳීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය උපරිමයෙන් කැපවී සිටින බවයි. විශේෂයෙන්ම යෝජිත නව ආයතනික ව්‍යුහය යටතේ වුවද දැනට සේවකයන් භුක්ති විඳින සියලුම හිමිකම් එලෙසම පවතින බවටත්, අලුතින් පිහිටුවන සමාගම් තුළ වුවද සේවක සුබසාධනය සහතික කරන බවටත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.
මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර, නව සමාගම් යටතේ විධිමත් පත්වීම් ලිපි ලබාදීම සහ සේවක අයිතීන් තහවුරු කෙරෙන සාමූහික ගිවිසුමක් (Collective Agreement) කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඒ අතර ප්‍රධාන විය. අදාළ සාමූහික ගිවිසුම දැනටමත් කෙටුම්පත් කර ඇති බවත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් අනුමත කර ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. වර්තමාන මැදපෙරදිග යුද අර්බුදය හමුවේ රජය මුහුණ දී ඇති අසීරු තත්ත්වය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් සිය අවබෝධය පළ කළ අතර, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන බවට ඔවුහු පොරොන්දු වූහ.
බලශක්ති අංශය රටේ ආර්ථිකයේ ප්‍රධානතම කොටසක් බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මණ්ඩලය තුළ විධිමත් දත්ත කළමනාකරණ පද්ධතියක් සහ මූල්‍ය විනයක් ඇති කිරීම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණක් බව පැවසීය. එමෙන්ම මෑතකදී බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුව වැනි හදිසි අවස්ථාවලදී විදුලිබල මණ්ඩලයේ සේවකයන් දැක්වූ කැපවීමද ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරුන් ද එක්ව සිටියහ.













