ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති 25 ක එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ලංවිම ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ පසුගිය 10 වන දින අනුප්‍රාප්තික සමාගම් විසින් ඉදිරිපත් කළ එකඟතා ලිපිය නීත්‍යනුකූලව වලංගු නොවන බවයි.
අදාළ ලිපියේ අත්සන් තබා ඇති පුද්ගලයන්ගේ නම් හෝ තනතුරු පැහැදිලිව සඳහන් කර නොතිබීම, සේවක අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් අරමුදල් භාර සමාගමේ සභාපතිවරයා එම ලිපියට අත්සන් තබා නොමැති වීම සහ විෂය භාර අමාත්‍යවරයා හෝ ලේකම්වරයා විසින් මෙම එකඟතාවන් සහතික ($Endorse$) කර නොමැති වීම ප්‍රධාන නීතිමය අඩුපාඩු ලෙස වෘත්තීය සමිති පෙන්වා දෙයි. විදුලිබල සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙස පාලනාධිකාරිය නියෝග කර ඇතත්, මෙම ගැටලු නිරාකරණය වන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව සංගමය අවධාරණය කරයි.















