ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබා දෙන කොමිස් මුදල (මෙහෙයුම් ලාභාංශය) අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම හේතුවෙන් පිරවුම්හල් 836ක් පමණ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
වසර 2016 සිට පිරවුම්හල් හිමියන්ට ලබා දුන් 3%ක කොමිස් මුදල, වත්මන් තීරණයකට අනුව 1.3%ත් 1.6%ත් අතර අගයක් දක්වා අඩු කර ඇත. මෙම පියවර නිසා පිරවුම්හල් නඩත්තු කිරීම සහ සේවක වැටුප් ගෙවීම වැනි දෛනික පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් ඉන්ධනහල් පවත්වාගෙන යාමෙන් ඉවත් වීමට සූදානම් වන බවත් වාර්තා වේ.
විශේෂත්වය වන්නේ ලංකා IOC, සයිනොපෙක් (Sinopec) සහ RM Parks වැනි සෙසු විදේශීය තෙල් සමාගම් තම බෙදුම්කරුවන්ට පෙර පරිදිම 3%ක කොමිස් මුදල ලබා දීමට තීරණය කර තිබීමයි. IOC සමාගම ද මීට පෙර කොමිස් මුදල අඩු කිරීමට උත්සාහ කළ ද, බෙදුම්කරුවන් ව්‍යාපාරයෙන් ඉවත් වන බවට කළ අනතුරු ඇඟවීම් හමුවේ මාර්තු 01 වැනිදා සිට නැවතත් 3%ක වට්ටම ලබා දීමට එකඟ වී තිබේ.
තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ විදේශීය සමාගම් දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට පියවර ගනිද්දී, රජයට අයත් ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි අහිතකර තීරණයක් ගැනීම විමතියට කරුණක් බවයි. මෙම තත්ත්වය හමුවේ ඉන්ධනහල් හිමියන් ඉදිරි දිනවලදී වැඩවර්ජනයක් හෝ සේවාවන් අත්හිටුවීමක් දක්වා ගමන් කිරීමේ අවදානමක් පවතී.














