රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (19) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියාය. එහිදී ඇය අවධාරණය කළේ රටක් ඉදිරියට ගෙන යාමට නම් අවංක, දක්ෂ මෙන්ම පළපුරුදු පරිපාලන සේවයක් අත්‍යවශ්‍ය බවයි. රජයක සහ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම තීරණය වන්නේ උගත් පිරිසකින් සැදුම්ලත් පරිපාලන සේවය මත බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
පරිපාලන නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තම පක්ෂයට කත් නොඅදින නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමේ සම්ප්‍රදාය ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිට පැවත එන බවයි. වත්මන් රජය යටතේ ද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන බවට ඇය චෝදනා කළාය. ඕනෑම අයෙකුට දේශපාලනය කිරීමට අයිතියක් ඇති නමුත් රැකියාව කරන අවස්ථාවේදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරීන් සතු බවත්, සමන් ඒකනායක මහතා එවැනි දක්ෂ පාලකයෙකු බවත් ඇය සඳහන් කළාය.
තමා සාමාන්‍යයෙන් බන්ධනාගාර වෙත නොපැමිණෙන නමුත්, සමන් ඒකනායක මහතා වැනි දක්ෂ නිලධාරියෙකුට එරෙහිව සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සිය විරෝධය පළ කිරීම සඳහා මෙලෙස පැමිණි බව ඇය වැඩිදුරටත් පැවසුවාය. ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ සිය සැමියා වූ විජය කුමාරතුංග මහතා සිරගත කර සිටි සමයේ දිනපතා ඔහු බැලීමට පැමිණි අතීත මතකයන් ද ඇය මෙහිදී ආවර්ජනය කළාය.














