ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර පැවති කීර්තිමත් “ආ කැපේලා වීඩියෝ සම්මාන” උළෙලේදී (AVAs) සම්මාන දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලාංකේය කලාකරුවෙකු වන චරිත් පීරිස් සමත්ව තිබේ. ‘hachajah’ යන කලා නාමයෙන් නිර්මාණකරණයේ යෙදෙන ඔහු, සිය “Mind Gog” ආ කැපේලා සංගීත වීඩියෝව වෙනුවෙන් හොඳම ඉලෙක්ට්‍රොනික්/පර්යේෂණාත්මක වීඩියෝව (Best Electronic/Experimental Video) සහ හොඳම ස්වාධීන වීඩියෝව (Best Indie Video) යන කාණ්ඩ යටතේ මෙලෙස පිදුම් ලැබීය.
නූතන ආ කැපේලා සමාජය (CASA) විසින් සංවිධානය කරන ලද මෙම උළෙලේදී ඔහු තවත් සම්මාන හයකට නිර්දේශ වී තිබීම විශේෂත්වයකි. කොළඹ හැදී වැඩී මේ වන විට බොස්ටන් නුවර පදිංචිව සිටින චරිත්, ශ්‍රී ලාංකේය රිද්මය සහ හඬ උපයෝගී කරගනිමින් මානසික සෞඛ්‍යය වැනි ගැඹුරු මාතෘකා සිය නිර්මාණ හරහා ගවේෂණය කරයි.
මීට පෙරද ජාත්‍යන්තර සහ යුරෝපීය සංගීත වීඩියෝ සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ “Mind Gog” නිර්මාණය, ගෝලීය ආ කැපේලා ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත්ව ඇත. 2026 වසරේ අවසාන භාගයේදී සිය තෙවන EP සංග්‍රහය නිකුත් කිරීමට චරිත් පීරිස් මේ වන විට සැලසුම් කරමින් සිටී.














