ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කළ මාරාන්තික ප්‍රහාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව චීනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. චීන විදේශ අමාත්‍ය වැන් යී (Wang Yi) මහතා මේ බව අවධාරණය කළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රව් (Sergei Lavrov) මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයට හේතු වූ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස චීනය හඳුන්වා දී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, කිසියම් රටක “රෙජීම වෙනසක්” (Regime Change) සිදු කිරීමේ අරමුණින් ස්වාධීන රටක නායකයෙකු ඝාතනය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බවයි. මෙම ප්‍රහාරය හරහා මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය දැඩි ලෙස අනතුරේ වැටී ඇති බවත්, එය ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බවත් චීනය පෙන්වා දෙයි. රුසියාව ද චීනයේ මෙම ස්ථාවරය අනුමත කර ඇති අතර, දෙරටම එක්ව මෙම ක්‍රියාව හෙළා දැකීමට පියවර ගෙන තිබේ.
අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ අමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, ලෝක බලවතුන් වන චීනය සහ රුසියාව මෙලෙස ඉරානයට පක්ෂව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකි. මෙම ප්‍රකාශයත් සමඟ බටහිර රටවල් සහ ආසියානු බලවතුන් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.
















