චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු, හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී තිබේ. සුසාන භූමිවල ඉඩකඩ සීමිත වීම සහ ඒවායේ පවතින අධික මිල ගණන් හේතුවෙන් බොහෝ පිරිසක් සිය ඥාතීන්ගේ අළු තැන්පත් කිරීම සඳහා මෙවැනි හිස් මහල් නිවාස භාවිත කිරීමට පෙළඹී සිටියහ.
චීනයේ දේපොළ වෙළඳාම් මිල ගණන් පසුගිය වසර කිහිපය තුළ 40%කින් පමණ පහත වැටී ඇති අතර, සුසාන භූමියක කුඩා ඉඩක් ලබා ගැනීමට වඩා හිස් මහල් නිවාසයක් මිලදී ගැනීම ලාභදායී වී තිබේ. බීජිං වැනි නගරවල සුසාන භූමි ඉඩක් සඳහා යුවාන් 150,000 සිට 300,000 දක්වා (රුපියල් ලක්ෂ ගණනක්) වැය වන අතර, එම ඉඩම ද හිමිවන්නේ වසර 20ක තාවකාලික බදු පදනම මත පමණි. මේ හේතුවෙන් ජනතාව නිවාස මිලදී ගෙන ඒවායේ ජනෙල් මුද්‍රා තබා, මියගිය අය වෙනුවෙන් පූජාසන තනා අළු තැන්පත් කිරීමේ “Bone Ash Apartments” සංකල්පය ප්‍රචලිත විය.
නව නීතිය මගින් නේවාසික දේපොළ මෙවැනි කටයුතු සඳහා භාවිත කිරීම සහ සුසාන භූමිවලින් බැහැරව අළු තැන්පත් කිරීම දැඩි ලෙස තහනම් කර ඇත. කෙසේ වෙතත්, සුසාන භූමි මිල ගණන් සාමාන්‍ය වැසියෙකුට දැරිය නොහැකි මට්ටමක පවතින පසුබිමක මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කර සිටියි. මේ අතර, අවමංගල්‍ය කටයුතු සඳහා වැයවන අධික පිරිවැය අඩු කිරීමට සහ එම ක්ෂේත්‍රයේ පවතින වංචා වැළැක්වීමට නව රෙගුලාසි හඳුන්වා දෙන බව ද චීන රජය නිවේදනය කර තිබේ.















