ඇමෙරිකාව සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින යුදමය ගැටුම් සම්බන්ධයෙන් චීනය අද (02) සිය ප්‍රථම නිල ප්‍රතිචාරය දක්වා තිබේ. චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, මෙම සටන් කලාපය පුරා ව්‍යාප්ත වීම (Spillover) වළක්වා ගැනීමට වහාම පියවර ගත යුතු බවයි.
ඉරානයේ ඉලක්ක වෙත ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මෙන්ම ඉරානය විසින් මැදපෙරදිග පුරා එල්ල කරන ප්‍රතිප්‍රහාර හමුවේ චීනය සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. යුද්ධය තවදුරටත් පැතිරී යාම කලාපීය ස්ථාවරත්වයට සහ ගෝලීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව චීනය පෙන්වා දෙයි.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) සිය රුසියානු සගයා වන සර්ජි ලැව්රොව් සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් පවසා ඇත්තේ, ස්වෛරී රාජ්‍යයක නායකයෙකු (අයතුල්ලා අලි කමේනි) ඝාතනය කිරීම සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. වහාම සටන් නැවැත්විය යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගත යුතු බවත් චීනය අවධාරණය කරයි.
චීනය මෙම යුද්ධයට සෘජු හමුදාමය මැදිහත්වීමක් සිදු නොකරන බවත්, ප්‍රධාන වශයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහ සහයෝගීතා මට්ටමින් කටයුතු කරනු ඇති බවත් විදේශීය විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් චීනයට ලැබෙන ඉන්ධන සැපයුමට බාධා ඇතිවීම පිළිබඳව ඔවුන් දැඩි අවධානයෙන් පසුවෙයි.
















