යුද්ධයෙන් ගැටුම් නිරාකරණය කළ නොහැකි බවත්, සිදුකෙරෙන යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන ලෙසත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකා මාඕ නින්ග් (Mao Ning) මහත්මිය ඊයේ (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීයි මේ බව කියා සිටියේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහිව අඛණ්ඩව ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවත්, එය තවදුරටත් සති දෙකත් තුනත් අතර කාලයක් පවතිනු ඇති බවත්ය. එමෙන්ම ඉරානය තමන් සමඟ සාකච්ඡා මේසයේදී එකඟතාවන්ට පැමිණීමට අකමැති වුවහොත්, ඇමරිකාව විසින් එරට බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි ප්‍රහාර එල්ල කරන බවටද ට්‍රම්ප් යළි අනතුරු අඟවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ, අදාළ සියලුම පාර්ශ්වයන් හැකි ඉක්මනින් සාකච්ඡා මාර්ගයට අවතීර්ණ විය යුතු බවයි. එසේම ලෝක ආර්ථිකයට සහ ගෝලීය බලශක්ති ආරක්ෂාවට තවදුරටත් අනිසි බලපෑම් එල්ල කිරීම වළක්වා ගන්නා ලෙසද චීනය මෙහිදී දැඩිව ඉල්ලා සිටිනවා.














