මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින දරුණු යුදමය වාතාවරණය සම්බන්ධයෙන් චීනය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. අද (08) බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) ප්‍රකාශ කළේ ලෝකය පාලනය කිරීමට “කැලෑ නීතියට” ඉඩ නොදිය යුතු බවත් බලය පෙන්වීමෙන් පමණක් කෙනෙකු නිවැරදි නොවන බවත්ය.
චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු මෙසේය. පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ උත්සන්න වූ මෙම ගැටුම “කිසිසේත්ම සිදු නොවිය යුත්තක්” බව ඔහු පැවසීය. මුළු කලාපයම මේ වන විට ගිනිදැල්වලට හසුව ඇති බවත් වහාම සටන් විරාමයක් ඇති කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඉරානයේ මීළඟ නායකයා තේරීමට තමන්ට අයිතියක් ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි. මැදපෙරදිග සැබෑ අයිතිකරුවන් එහි වෙසෙන ජනතාව බවත් ස්වාධීන රටවල අභ්‍යන්තර පාලනය තීරණය කිරීමට බාහිර පාර්ශවයන්ට ඉඩ දිය නොහැකි බවත් වැන්ග් යී පෙන්වා දුන්නේය.
කුමන්ත්‍රණ මගින් පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමට දරන උත්සාහයන් ජනතාව කිසිසේත් පිළි නොගන්නා බවත් හිතුමනාපයට බලය පාවිච්චි කිරීමෙන් ශක්තිය ඔප්පු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර මෙන්ම ලෙබනන් දේශසීමාවේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ චීනයේ මෙම ස්ථාවරය ජාත්‍යන්තර දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකි.














