ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන අවම වශයෙන් එක් චීන ජාතිකයෙකු හෝ මියගොස් ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං (Mao Ning) අද (02) නිල වශයෙන් තහවුරු කළාය. පවතින යුදමය වාතාවරණය හේතුවෙන් තම රටේ වැසියෙකුට දිවි අහිමි වීම පිළිබඳව චීනය සිය දැඩි කණගාටුව සහ විරෝධය පළ කර සිටී.
ඉරානයේ වෙසෙන චීන ජාතිකයන් 3,000කට අධික පිරිසක් මේ වන විටත් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට (Evacuation) චීන රජය පියවර ගෙන ඇති අතර, තවදුරටත් ඉරානයේ රැඳී සිටින තම වැසියන්ට වහාම එරටින් පිටවන ලෙසත් ඒ සඳහා තුර්කිය, අසර්බයිජානය සහ ආර්මේනියාව වැනි රටවල් හරහා පවතින ගොඩබිම් මාර්ග භාවිතා කරන ලෙසත් චීන තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී (Wang Yi) පවසන්නේ, ස්වාධීන රටක නායකයෙකු ඝාතනය කිරීම සහ බලහත්කාරයෙන් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. වහාම සටන් විරාමයකට එළඹෙන ලෙසත්, මිලිටරි මෙහෙයුම් නතර කර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන ලෙසත් චීනය ඉල්ලා සිටී.














